Tuesday, January 17, 2017

උච්ච සංධ්වනියක් අසල...





සොඳුරිය,
ඔබට ඇත්තේ 
සුරංගනාවියකට කන් දෙන්න 
සමණලුන්ගෙන් පියාපත් 
නොඉල්ලන්න
මම කැමති ඔබට දම් නීල 
පියාපත් දෙන්න
ඒ මත යන්තමින්
එමරල්ඩ් කොළ පැහැය තවරන්න

ඉතිං ඔබ කැමති නම්
සමණලුන් එක්ක 
ටික දුරක් ඉගිළෙන්න
මන්ද්‍රමය මිමිණුමක
උන්මාද ස්වර තන්තු මත ඉපිළෙන්න

ඇස් අඳුන් මැකෙන තුරු
හීනයක කිමිදෙන්න
මම කැමති 
ඒ හීනයේ කෙළවරක
තව හීනයක් අමුණන්න
ඔබ අවදි නොමවෙන්න

ඒක තානමය රඟහළක
වේදිකාවෙන් මඳක් බැස එන්න
රන් පාට සැඳෑවක
ඉතා කළබල වීදියක 
රොමෑන්තික ඔපෙරාවක්
කැරිබියන් නැටුමකින් කළඹන්න

ඇත්තට ම ඔබට ඇත්තේ
සුරංගනාවියකට කන් දෙන්න
හදවතක ඇත්තේ ගැස්මක් නොව
මන්ද්‍රමය නිද්‍රාවක සිට නැගෙන 
උච්ච සංධ්වනියක් බව පිළිගන්න


09-01-2016

No comments:

Post a Comment