Thursday, March 24, 2016

ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය




මතකයන් බිඳෙන් බිඳ 
ගිලිහෙන විට
කාලයට නමක් දිය යුතු නම්
ශෝකය යයි කියනු මැන 

දෙඇස්වල අවසාන එළි පොද
නිවී නො නිවී සිඳි යන විට
ප්‍රේමයට පර්යාය පද අවැසි නැත,
ඉඳහිට වැළඳ ගනු මැන

බෙදා ගත් දිවියක 
සදාකාලික මතකය
කිසිවකින් මකනු බැරි බව
නිදාගත් මා හෘදයට 
නිරතුරුව සිහිපත් කර දුන මැන

රික්තයක් තුළ නිහඬ ගොළු බව 
දරා ගනු බැරි දිනයෙක,
සමු ගැනුම් අවැසි නැත
කිසිත් නොකියා ඉවත යනු මැන

කළු කුහරයක් මැද
අරුත් ගිලිහුණු ස්මෘතිය
කිසිත් නොහැඟෙන ශුන්‍ය දෑසක 
ඇස් පියන් යට තබා යනු මැන

හිස්කමක් මිස කිසිත් නො පෙනෙන
අන්ධකාර ම හදක පතුළත
මිදී ඝන වී කියනු බැරි වූ
ආදරය නම් දෙයක් තිබුණෙය,
එයම පමණක් රැඟෙන යනු මැන.

29-02-2016

*ස්මෘතිය අහිමි වීම විසින් එදිනෙදා පුරුදු බොහෝ දේ අමතක කර දමයි. ඇතැම් විට මනස හිස්වෙයි-හුරුපුරුදු කිසිවක් සිහියට නඟා ගනු බැරිවෙයි. 

2 comments:

  1. කාලය බොහෝ දෑ විසඳනු ඇත

    ReplyDelete
  2. ස්මෘතිය... යනුවෙන් ඔබ මෙහි සඳහන් කර ඇත්තේ පැරණි මතකය නැවත මතකයටනගා ගැනීමේ හැකියාව යයි මම සිතමි...
    "අතිශය සංවේදී වූ ජිවිතයට සමීපවූ මතකයන් ලෙස ජිවිතයට ශේෂ වූ අත්දැකීම් ස්මෘතියෙන් ඉවත් කිරීමට හෝ ස්මරණය කිරීමට නොහැකිනම් සංවේදී බොහෝ මිනිසුන් අතිශය ප්‍රමෝදයට සතුටට පත්වනු ඇත. මන්ද සංවේදී මිනිසුනට ඒ කෑකෑරෙන මතකය නිරන්තරව ඇතිකරන්නේ ප්‍රියජනක හැඟීම් නොවන නිසාවෙනි...
    *බෙදා ගත් දිවියක
    සදාකාලික මතකය
    කිසිවකින් මකනු බැරි බව
    නිදාගත් මා හෘදයට
    නිරතුරුව සිහිපත් කර දුන මැන"
    ඔබගේ ඉහත පැදි පෙළ මා ඊට ඉහතින් කී කරුණ සමග සැසඳෙනවා යැයි සිතිමි.
    කෙසේ වෙතත් ඔබගේ නිර්මානයේ සියුම් ලෙස හිතන පතන සහ දැනෙන අයවලුන්ට අපුරුවට ජිවිත අත්දැකීම් සමග සසඳා එය විඳීමට හැක. භාෂා භාවිතයේදී ඔබ තරමක් සාමාන්‍ය සරලත්වයෙන් ඔබ්බට ගොස් මෙය නිර්මානය කිරිම බොහෝ දෙනෙකුට එය විඳ ගැනීමට තරමක අපහසුවක් ඇතිකරන බව මම සිතමි.

    ReplyDelete