Thursday, June 14, 2012

මෙගා අහස යට


නාට්‍යකරණයේ යෙදෙන සහෘදයෙකු මෙගා වෙළඳ සැලක් ඉදිරිපිට විකට ඇඳුමකින් සැරසී වෙළඳ ප්‍රවර්ධනයේ යෙදෙන'යුරු දුටිමි.

සෙනඟ උතුරා හැලෙන
කොළඹ ලෝදිය හැලිය
නුගේගොඩ එක හංදියක් ළඟ ඉහිරුණා
පුවත් නොදැන ම මෙගා සැල අස තෙරපුණා

නො විකිණෙන කිසිවක් ම
නොමැති ඒ අහස යට
ක්ෂුද්‍ර මිනිසුන් මෙගා සිහිනෙක පැටළුණා
මෙගා කටකින් සිංදු පාරට වැගිරුණා

නේක බහුරූ කෝලම්
වත පුරා රතු සායම්
මුව අයා ගත් සිනා විදුලිය කොටමිනා
සුළං පිරවූ රුවක් දූවිලි කළඹනා

රඟ මවන විසුළු රුව
නතර විය මොහොතකට
මෙගා ඇසිපිය නිමේෂයකට පියවුණා
නුහුරු මුහුණේ පුරුදු දෑසක් හිනැහුණා

දූලි මීදුම මැදින්
විසල් අඩි තිය තියා
විසුළු රුව දිගු අඩි තබා මට ළංවුණා
අදහගනු පෙර, දෑත දිගුකර හිනැහුණා

උදුල රඟ නළු අතර
සාද තෙපුළින් දිළෙන
සුබ සිහින රැස විඩාබර ඇස තෙරපුණා
රඟහලේ නින්නාද මතකය ඇහැරුණා

ගම තාම බලන් ඇති
ඊඩිපස් එන තුරා
නගා අත් අපි උඹට නැගු ගොස සිහිවුණා
ඒ අත් ම ඔය දූලි දෑතේ හිරවුණා

ජීවිතේ මහා බර
ඇඟිලි තුඩකට අරන්
හිනැහෙද්දි උඹ, මාව ගොළු වුණා
ගිහිං එන්නං කියා එන්නට
මල්ලියේ, අමතක වුණා

2 comments:

  1. කෙනෙක් පිනවන්න , හිනස්සන්න පුලුවන් ලෝකෙ කීයෙන් කී දෙනාටද? ඒක උපත්තියෙන්ම අරන් එන දෙයක්. ගිහින් එන්නම් කියන්න අමතක උනාට මේ විදිහට ඔහුව පිළිගැනීමම වටිනවානේ.

    ReplyDelete
  2. කවුරුත් කතාබහ කරන්නෙ නැති කෙනෙක් ගැන ලියැවුනු අපූරු ලියමනක්!!!!

    ReplyDelete