Monday, March 26, 2012

සදාකාලික තරුණයාට සුභ උපන් දිනයක් වේවා!

අද වි‍ශේෂ දවසකි.

ඩොරියන් ග්‍රේ යනු මා මහත් සේ ප්‍රිය කරන ඔස්කා වයිල්ඩ් විසින් ලෝක සාහිත්‍යයට දායාද කළ විශිෂ්ට නව කථාවකි.  එහි මූලික කතාව මගේ අද දින ප්‍රස්තූතයට එතරම් අදාළ නො වූවද එහි එන ‘සදාකාලික තාරුණ්‍යය’ පිළිබඳ සංකල්පය මගේ හොඳම මිතුරා හා සම්බන්ධ නොකර සිටීම මට කළ නො හැක්කකි. ඔහු සාත්‍ර හෝ කැමූ හෝ හෙස ගේ පොත් තුළ ද   බුද්ධ ගේ ඉගැන්වීම්වල ද  අපට හමුවන සොර්බා ය. දුර ගමනක් යද් දී බස් රිය මඟ කැඩුණු විට ‘ඉළ ඇදෙන තුරු’ සිනාසීමේ ඇති වැදගත්කම ගැන ද මිත්‍රත්වය තුළ තරහවීමට ඇති පරම අයිතිය ගැන ද මට කියා දී කිසිදා මා සමඟ තරහ නො වූ මිතුරා ය.


විපතේ දී කිසිදා අත් නො හරින සතුටේ දී අප වැළඳ තුටු කඳුළු වගුරන අසීමිත සගයා ය‍.


අද ඔහුගේ උපන් දිනය යි.


ඔහුගේ වයස ගැන අප එතරම් කල්පනා කළ යුතු නැත. මන්ද, ඔහු සදාකාලික තාරුණ්‍යයට හිමිකම් කියන බැවිනි. 


ධනුෂ්ක, ඔබට ආයු බෝ වේවා!

අහසක් දුටිමි ඉර හඳ උහුලනු දුටිමි
පොළොවක් දුටිමි අහසට දිය දෙනු දුටිමි
බිඟුන් දුටිමි බිඟු වෙත මල් එනු දුටිමි
හිතක් දුටිමි එහි දහසක් නෙත් දුටිමි

කැලයකි සකි එහි මල් ඇති පරව යති
ගඟුලකි සකි එහි දිය ඇති සිඳී යති‍
මිනිසුන් එති කල ආ කල  නික්ම යති
බිතු සිතුවම් ඒ ලෙස පිටු නොපාවිති

උල්පතටත් දිය දෙන අදරැති පෙමිනී
සඳ රැස් විඳ සඳ නො විඳින සහතොසිනී
මල් සුවඳින් මුල් පසිඳින  මිතු සඳුනී
තොප සොඳ බස් අප සවණත රස පැමිණී

සොයා සොයා  තතු විමසා යන  ගමනේ
පියා හඹන නෙත් වෙන මානෙක රැඳුණේ
ඉතින් නුඹට නුඹ හමුවන මතු එදිනේ
ඇසින් තුටු කඳුළු වගුරමි සකි සඳුනේ

26/03/2012

4 comments:

  1. What a Birth day gift... dat was awsm...
    any way ur so dam lucky girl ne...

    bdw Happy B'day Danushka...

    ReplyDelete
  2. අපූරු යාළුවෙක්. ඔහුට සුභ උපන්දිනයක් පතනවා.

    ReplyDelete
  3. ස්තූතියි නලිනි.

    ReplyDelete