Wednesday, October 6, 2010

ලංකාව නම් දූපතේ ඉපදීම සහ ජීවත්වීම

ගිය මාසය අවසන් වුණේත් මේ මාසය ඇරඹුණේත්, මට ද බොහෝ දෙනෙකුට ද සුවිශේෂි වූ මිනිසුන් වන මිතුරන් තිදෙනෙකුගේ උපන් දිනයන් සමගයි.

මිනිසෙකු ඉපදීම මිහිමත ඇති සුවිසල්ම ආශ්චර්යය වන්නා සේම සමහර මිනිසුන් ඉපදීම ලෝකයට ආශිර්වාදයක් වන්නේ ඇයි? මිනිසුන් ඉපදෙන්නේ ඇයි? ලංකාව වැනි දූපතක ඉපදීම යනු කවරක් ද? 
 
ලාංකික දරුවන් ඉතිහාසයේ පටන් ඉපදුණේ සහ අදත් ඉපදෙන්නේ සංස්කෘතිය, ආගම හා ආර්ථික දේශපාලන ප්‍රවාහයන් විසින් අත්‍යන්තයටම මඬනා ලද පවුල නමැති සිර ගෙය තුළයි.දරුවා ආගමික විය යුතු බව උපතටත් පෙර තීරණය කරන අතර උප්පැන්න  සහතිකයෙන් එය රජය විසින් අනුමත කර සීල් කර දෙනු ලබයි. එතැන් පටන් අනවරත බලපෑම් හා ඉගැන්විම්ය. කොටින්ම සිනාසිය යුත්තේ කා සමගද ආදරය කළ යුත්තේ කාටද යන්න පවා උගන්වනු ලබයි. 

“මේ ඔයාගේ තාත්තා, හිනාවෙන්න” මෙසේ විධාන ලබන දරුවා ලේ නෑ කම් අනුව ආදරය ඇතිවන බවත් කන්න බොන්න දී හදා ගන්නා නිසා ආදරය කළ යුතු බවත් විරුද්ධ ලිංගිකයින් යනු අමුතු සත්ත්ව කොට්ඨාසයක් බවත්  තමන්ගේ අයට ආදරය කළ යුතු බවත් පිට අය කියා ජාතියක් ඇති බවත් වෙනත් ආගම් හා ජාතීන් යනු තමන්ගේ එකට වඩා පහත් ඒවා බවත් ඉතා ඉක්මණින් ඉගෙන ගනියි. එපමණක් නොව රූපවාහිනියෙන් , පත්තර වලින් , පාසලෙන් , දහම් පාසලෙන්, පෝස්ටර් කටවුට් වලින් ඒවාට පොහොර වැටෙයි. අනෙක් අතට දකුණු ආසියාතික රටක සමාජ තත්ත්වය යනු ජීවිතයටත් මරණයටත් එහා දෙයක් නිසා මේ දරුවන් “ඉහළට ඉගෙන ගැනීමේ” මාරාන්තික අරගලයට ‍ද යොමු කෙරෙයි.  
 
මෙසේ අහිංසකව , සිල්වත්ව , භක්තිමත්ව හැදෙන දරුවා ට යෞවන වියට එළඹීමත් සමඟම ස්වභාවිකවම මේ ක්‍රමය ප්‍රශ්න කිරීමේ වුවමනාව පැන නගියි. අනෙක් අතට ළමයාට නොහොත් මේ තරුණයාට හෝ තරුණියට පවුල සහ සමාජය විසින් කිසිදාක විසඳා ගන්නට ඉඩ නොදුන් ප්‍රශ්න කෝටියකි. එනිසාම විරෝධය දැක්විමේ ක්‍රම ද බොහොමයකි. සිගරට් බීම, ඇල්කොහොල් භාවිතය, මත්ද්‍රව්‍ය ගැනීම, රස්තියදු ගැසීම, කැසිනෝ යාම, කැරොකේ යාම, නිල් චිත්‍රපට බැලීම, රෑ බෝවී ගෙදර ඒම, පෙම්වතුන් පෙම්වතියන් වැඩි දෙනෙකු ඇසුරු කිරීම, දේශපාලනයට පිවිසිම,භාවනා කිරීම මින් කිහිපයක් පමණි. මේ කිසිවක් හොඳ නරක තරාදියට දැමිමට අවැසි නැති ඒවා වුව ද මේවායින් කවරක් කළ ද වැඩිහිටියන් කළබල වේ. ඇහේ මූණේ තියන් හැදූ දරුවා අකීකරු වී ඇත!
 
මේවා එළිපිට නොකරන දරුවෝද වෙත්.  ඔවුන්ගේ කාර්යය දෙමව්පියන්ගේ බැට්න් එක ප්‍රවේශමෙන් රැ‍ගෙන හැකිතාක් දුර දිවීමය. අතරමග හමුවන සදාචාර විරෝධීන්ට හෙවත් රැඩිකල් යයි කියා ගන්නා උන්ට පාඩමක් ඉගැන්වීම කෙසේ වෙතත් ටොක්කක් හෝ ඇනගෙන යාමද මේ ගමනේ එක් අරමුණකි. විභාග පාස් කිරීම, රැකියාවක් (සමාවෙන්න , හොඳ තත්ත්වයක් ඇති රැකියාවක්) සොයා ගැනීම, හොඳ තැනකින් කසාදයක් බැඳ ගැනිම , ගෙයක් සහ කාර් එකක් ලෝන් දමා හෝ මිළට ගැනිම, දරුවෙකු ඉපැද්දවීම , තමන්ට කරන්නට බැරිවුණ ඔක්කොමත් ඇතුළත් වන පරිදි ඒ දරුවා ද හැදිම හා මීට අමතරව ලංකාව යනු එපාම කරපු කුණු ගොඩක් බව පසුව පසක් වන නිසා රට හැර ‍ගොස් වෙන රටක පුරවැසිභාවය ලබා ගැනීම හා මියයාම එබඳු ලාංකේය මධ්‍යම පාංතික ජීවිත බහුතරයක  ප්‍රධාන අවධීන් ලෙස වර්ග කළ හැකිය.  කෙසේ වෙතත් මේ හොඳ ළමයි ද හොරෙන් හෝ එළිපිට  ඉහත දේවල් වල නිරත වෙති. නැතත් පාන් සහ ගෑස් මිළ ඉහළ ගිය විට පමණක් දේශපාලනය කතා ‍ කොට ජීවත් වුණත් නැතා සේ හිඳ මියෙති.

මේ ක්‍රමයට ඇතුළත් වුව ද එසේ ඇතුළත් වන්නට හා පවතින්නට අකමැති අය සමාජය ප්‍රශ්න කරන්නට පටන් ගනියි. මෙය සංස්කෘතිය ප්‍රශ්න කිරීමෙන් ඇරඹී ආර්ථීකය හා දේශපාලනය ප්‍රශ්න කිරිම දක්වා විහිදෙයි. මෙබන්දන් තරුණ මදය නිසා ටික කලක් රැඩිකල් ව්‍යාපාර වල නිරතව සිට සංස්කෘතියටද පිටුපා නිදහස් ජීවිත ගත කොට මැදි විය ළං වෙද්දි හොඳ ළමයින් වී පොදු ප්‍රවාහයේ දියව නොපෙනී යති. රැඩිකල් දෙශපාලනයේ තතු ද එහෙමය. මුලින්ම වමෙන් ද ඉන් පසු මැද ද ඊටත් පසු දක්ෂිණාංශිකද වී ආ ගිය තැන් අමතක වන තුරු ආස්ථානය මාරු කොට ධනේෂ්වරයේ මුරිච්චියක් වී පුළුවන් නම් අන්තිම කාලේ අඩුම තරමින් සෝවාන් වෙන්නටවත් උත්සහයක් දරා  මියෙති.
 
මේ සියල්ල අතර පවතින ක්‍රමය සැබෑවට ප්‍රශ්න කරන්නන් විරලය. මේ සිර ගෙය කඩා දැමීමට අත පය තුවාල කර ගැනීමට ඉදිරිපත් වන්නන් ඊටත් වඩා විරලය. මූලිකම කරුණ මෙය සිර ගෙයක් බව තේරුම් ගැනීමයි. තමන්ට සිනහසෙන්නට , හදා වඩා ගනු ලබන නිසා ආදරය කරවා ගනු ලබන්නට, තමන්ගේ පරණ ඇරියර්ස් කවර් කර ගැනීමට ග්‍රීස් ගහේ නග්ගවා තරඟ කරවන්නට, ආදරය යන වචනය පාවිච්චි කරමින් දරුවෙකුගේ මුළු ජිවිත කාලයටම අයිති ශුද්ධ වූ නිදහස හෙවත් නිදහස් මිනිසෙකු ලෙස මහ පොළව මත ඇවිද යාමේ අයිතිය සේම පෞරුෂය ද අහිමි කොට රූකඩ සේ නටවන්නා වූ පවුල සතු හුය කඩා දමන්නට කී දෙනෙකුට ශක්තිය තිබේද? ආදරය යනු  ආදරයම බවට පත් වීම මිස අත් කොට ගැනිම නොවන බව ක්‍රියාවෙන් පසක් කළ අවබෝධයෙන් යුත්  ගැහැණු-මිනිස් සබඳතා වල සුන්දරත්වය සහ අත් කර ගන්නට තැනීමේ නිස්සාරත්වය කී දෙනෙක් වටහා ගෙන සිටී ද?  ජිවිතයට සහ මරණයට ඇති බිය නිසාම ආගම් වල වහලුන් නොවන්නට, මමත්වය නිසාම ලොව ඉදිරිපිට නළුවන් වී කුහකයින් නොවන්නට, තමන්ගේ පිළේ එකාට සේම අනෙක් පිළේ එකාට ද ගරු කරන්නට හුදෙක් සඟවා ගත් අධි මානයෙන් අනෙකා නොපෙළන්නට හැකියාව තමන් විසින්ම අත් කර ගත යුත්තේද කුඩාවෙකු ලෙස ගෝත්‍රික බවට බෞතීස්ම කරනු ලැබූ දරුවාමය.
 
තමන් සොයා ගැනීමේ අරගලය තුළ අප කී දෙනෙක් සිටී ද?  ලද එකම එක ජිවිත කාලය කෙසේ ගෙවිය යුතුද යන තීරණය පැහැදිළිව ගන්නට හැකි වූ කි දෙනෙකු ඔබට ජීවිතයේ දි හමු වී තිබේ ද? සමාජයට ආදරය කරන අතරම එහි ඇති ගෝත්‍රික බව හඳුනා ගැන්මට ද ඊට ප්‍රතිවිරෝධීව ප්‍රායෝගිකව ජිවත් වන්නටද ශක්තිය ඇති මිනිසුන් කී දෙනෙක් වෙත්ද? මූලිකම අරගලය තමා සමග බව වටහා ගත් තැන් පටන් තමන් තුළ ගොඩ නැංවීම් සිදුවිය යුතු බව පුද්ගලයා වටහා ගනියි. තමා ගොඩ නංවා ගැනීමෙන් හා නිශ්චිත අරමුණක් සහිත වීමෙන් තොරව කරන සමාජ කාර්යයන් නිශ්ඵල වන්නා සේම තාවකාලිකද ව්‍යාජ ද  වෙයි. දීර්ඝ වෙහෙසවීම් ඇද වැටීම් හා කැප කිරීම් තුළින් අත් පත් කර ගන්නා ගොඩ නැංවිම් සහ අරමුණු සහිත එබඳු ජීවිත කෙදිනක හෝ මිහිමත උපත ලැබිම ගැන අප සතුටු විය යුත්තේ එබැවිනි. ඒ ජීවිත වලට සීමා මායිම් නැත. හුවමාරුකිරීම් හෝ කේවල් කිරීම් නැත. පිල් බෙදීම් නැත. ඇත්තේ ආදරය ශක්තිය කොටගෙන ලෝකය ගොඩ නැංවීමේ ක්‍රියාවලිය තුළ ජීවමාණව වැඩෙහි නිරත වීම පමණි. ඒ ජීවිත වල සිහින නැත. ඇත්තේ වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් නිශ්චිතව ළඟා කරගත යුතු ඉලක්ක පමණි.
ඒ මිනිසුන් කිහිප දෙනා වෙනුවෙන්,

මට ලියන්නට බොහෝ දේ ඇත...
ඒත්
අද ඒ කවිය නොලියමි...

සිංහ කොටි වග වළසුන් ද
සාවුන් ,  මුවන් ද
සොල්දාදුවන් ,විප්ලවවාදීන් , ප්‍රතිගාමීන්ද
උකුස්සන් , රාජාලියන් ද
පෙලිකන්ලා  සහ පැණි කුරුල්ලන් ද
අවතැන්වූවන් , සරණාගතයින්, ආබාධිතයින් ද
සුනිල දිය කඳුරු , ගංගා ,මහා සාගර ද
කම්කරුවන්, සුදු කරපටිධාරීන් ද
මිටියාවත් , තණ බිම්
කඳු වැටි , කාන්තාර ද
ගැහැණුන්, පිරිමින්, තරුණන් හා දරුවන් ද
ලිලී මල් ,පිච්ච මල්, ගංජා මල් ද
විඥානවාදීන්, භෞතිකවාදීන්, ශුන්‍යවාදීන් ද
එකට හමුවෙන
ඒ සහෝදරත්වයේ දිනයේ
ගිමන් හරිනට ඉඳගන්නා තැන
ඔබ ළඟින් ඉඳඟෙන
ඒ කවිය මම ලියමි.


06/10/10

4 comments:

  1. Anonymous6/10/10 19:20

    ගිය මාසය අවසන් වුණේත් මේ මාසය ඇරඹුණේත්, මට ද බොහෝ දෙනෙකුට ද සුවිශේෂි වූ මිනිසුන් වන මිතුරන් තිදෙනෙකුගේ උපන් දිනයන් සමගයි.

    ඊළඟට...?

    ReplyDelete
  2. Anonymous8/10/10 00:15

    Niyamai machan. Digatama linna. ela.

    ReplyDelete
  3. eka husmata kiyawan giya, ayeth dawasaka ennam ...

    " ur old friend"

    ReplyDelete