Friday, January 29, 2010

හදවතක් නැති කවියක්


හදවතක් නැති කවියක්


               සිදුවීමඃ
කළු කපා කළු කෙරූ
සූර්ය ග්‍රහණයක
දැවි දැවී ලේ ගලන
හදවතක එළිය දැක
මහ විසල් කුණාටුව ගෙට ඇවිත්
ගිනි නිවා තුඩ කඩා ලූ පෑන
නෑසේද ඉකි ගසනු යම් තැනක
මල් මැරී, කටු පිපෙන මුඩු බිමෙක
                                     * * * * * *                                        
              පැණයඃ
පොළොව හැර අහස වෙත නැගි නැගි
තුඟු කඳුව උස්ව අප සිටි හැටි
උණු නොවී ඇතුළතින් නොම දැවී
ගිනි කන්ද විය හැකිද මිතුරනි

සීතලම හද පතුල පහුරු ගා
ඇවිලෙනා කවි ලියන සකියනි
බිම වැටී මිදුණු හිම කැටයකින්
කෙලෙස නම් ඇව්ලේද ලැව් ගිනි

දුර යනුව, මගට බැස යා නොහි
අනුන්ටම මග කියමු මග රැදි
මලක් මත පිනි බිඳුව නැළවෙවී
ගඟක් වී ගැලියැකිද සබ‍ෙඳනී

ඉරිතලා දෙකඩ වූ මහ පොළොව
ඉරි තැළුණු තොල් තියා සිප වැළඳ
වියළවා බොල් ඇසෙහි උණු කඳුල
හිස ගසා මරණ‍ෙයහි අවසඟව
දුටුවාද වැළපෙනා ජීවිතය, අඩදැණිව?

ඉතිං සකියනි,
ඒ මහා ඉරණමත්
කවියකට නිමිත්තක්
විතරමද?


01-10

Thursday, January 21, 2010

ගලන තරුව




තරුවක එළිය
ගලයි
ගලන ගඟ
සමග






04-12-09

සිත බිඳුණු කවියාන



සිත බිඳුණු කවියාන


අහස බලනු බැරි මට නුඹෙ කඳුල       පෙනේ
පොළොව බලනු බැරි මට නුඹෙ සුසුම දැනේ
අහස පොළොව අහිමිව අපි උපන්        බිමේ
කුමට සකිය මේ කවි කම් උරුම          උනේ

වාන    ඇරිය වැව් බඳ දෙදරා           හැලුණි
නේන ගමන් ගොස් සගයින් එහි       ගිලුණි
හීන පේන මානේ මරු වැල්             ඇදුණි
මාන බලා තරු ඇසකට ගිනි             බිඳුණි

අකුරු මිසෙක විස ඊතල නොපෑ          සකි
පතොක් මලෙක සුවඳත් කව් කෙරූ    හැටි
නපුරු කලට ගෙට ආ පිරිපත            සුරැකි
නුඹේ කඳුල බොඳ වුණි මා ඇසින්      වැටි

සැඩ හිරු හතක් පායා ගිනිගත්         නුවර
බිහිරිව ගොළුව නිදියන පුර සෙනග    මැද
අවදිව ඉඳන් උන් වෙනුවෙන් ගැයු  විහඟ
ඔය ලේ ගලන කව් හිමි අදටද        හෙටද

-මාලතී -

01/10

Saturday, January 16, 2010

පිනි බිඳු



රැයෙහි අග
පිනි බිඳු
ඒ මත
තරුවක
දිස්නය

04-12-09

අනෙකා වටා කැරකීම



අද සහෘදයෙක් සමග ඇතිවුණ සංවාදයක් නිසා හැමදාම හිතන දෙයක් ලියන්න හිතුණා...අඩු වැඩි වශයෙන් ජීවිතේ එදිනෙදා වේදනාවන් හෝ දිගු කාලීන විඳවීම් වලට මුල් වෙන්නේ වෙනත් අයව අක්ෂයන් බවට පත් කරලා ඒ අය වටා කරකැවීම. ඒක හරියට ලණුවක් අල්ලගෙන ඇවිදින්න පු‍රුදු වුණාම තමන්ට සහජයෙන් උරුම සමබරතාවය අමතක වෙලා ලණුව නැත්නම් වැටෙන තරමට ඒ මත යැපෙනවා වගේ....

මුල් කාලෙදි මේ අක්ෂය වෙන්නෙ දෙමව්පියන්. ළමයට උගන්වන්නෙම ස්වාධීන වීම මහා පාපයක් කියලා. ඊළගට වැඩීමත් එක්ක මිත්‍රයින්, පෙම්වතා හෝ පෙම්වතිය මේ කේන්ද්‍රය බවට පත් කර ගන්නවා. ඊටත් පසුව තමන්ගෙ දරුවන්....  එහෙම නැත්නම් මුදල් වගේ භෞතික සාධකයක්..... මේක කොයිතරම් උඩු යටිකුරු වෙලාද කියනවානම් පෙම්වතා ඉරිසියා කළේ නැත්නම් පෙම්වතිය හිතන්නෙ “එයා මට ආදරේ නෑ” කියලා.... අහිමි වීමේ බිය නිසා දෑත නිදහසක් නැතිව අනෙකා අල්ලාගෙන ඉන්නවා....එක්කෝ එහෙම කරන්නට බල කෙරෙනවා....

එහෙම කිරීමේ කණගාටුදායක ප්‍රතිඵලය තමයි තමන්ට තමන් අහිමි වීම....තමන්ගෙ සතුට සැනසිල්ල අනෙකාගේ හැසිරීමට කේන්ද්‍රගත කිරීම...එවිට කරන්නෙ ඉතාම වේගයෙන් වෙනස් වෙන සාධකයකට සාපේක්ෂව නියතයන් ගොඩ නැගීම.එකඟ වීම සේම එකඟ නොවීම තුළත් සිදුවෙන්නේ මේක... ඇත්ත කතාව තමයි, මේ නියතයන් නියත නොවීම...කොයි තරම් යැපෙන සුළුද කියනවා නම් උදේට යන බස් එකේ කොන්දොස්තරට පුළුවන් එක වචනෙකින් මුළු දවසම නාස්ති කරන්න...

අපි ඒ ගැන ටිකක් හිතමු.......

බස් එකේ කොන්දොස්තර මට කෑ ගහනවා මාරු සල්ලි ගෙනාවෙ නෑ කියලා....ලැජ්ජාව, කේන්තිය, අභිමානය මේ ඔක්කොමත් එක්ක “මම” කියන “මහා” ප්‍රතිරූපය හිස ඔසවලා ඒ මනුස්සයා පිළිබද දරුණු කෝපයක් දැන් ඇවිළෙනවා....දැන් මගේ සැනසිල්ල , සංහිඳියාව ඉවරයි...දවසම ඉවරයි....ඒත් මට ඒක දිහා වෙන අයුරකින් බලන්න පුළුවන් නම්.......ඒ මනුස්සයා හෙවත් බස් එකේ කොන්දොස්තර එතන ඉන්නෙ සමහර විට පාන්දර 3 ඉදලා....ඔහුගෙ රැකියාව හරිම කටුක එකක්...ඔහු ඇත්තටම කෑ ගහන්නෙ ඒ කටුක බවට...මට නෙවෙයි....ඇයි මම ඔහුගෙ හැසිරීම නිසා පෞද්ගලිකට විඳවන්නෙ?

මේක හැම තැනකදිම හිතන්න පුළුවන්නම් මට මාව මුණ ගැහෙන්න වෙලාව ඉතිරි වෙනවා......මගේ දෑත නිදහස් වෙනවා.....එවිට අනෙකාත් නිදහස් වෙනවා...එතැන පමණයි හැබෑ ආදරය බිහිවෙන්නේ....හැබෑ සැනසිල්ල විඳගන්න හැකි වෙන්නේ....

මමත් උත්සාහ කරන තවත් මගියෙක් පමණයි.

15-01-2010

Wednesday, January 13, 2010

මගේ සරසවි

මගේ සරසවි


හැරපියා දුර ගොසින්
විතැන් වී නොතැන් වල
හැරී එනු බැලූ කල
තිබේ නම් යම් තැනක්
තැනක් වෙද වෙනත් යම්
මගේ යයි කිව හැකි
මේ මිහිතලය මත
මෙතැන හැර

12/01/2010 පේරාදෙණිය

මේ නුවර පොද වැස්ස


මේ නුවර පොද වැස්ස


එදා....
......................
හිරිපොද එක්ක
සීතල...
අත ළග උණුහුමට
ඔබෙ අත

පසු දිනෙක...
.........................
හිරිපොද එක්ක
තනිකම...
උණුහුම නැතිව
සීතල

අද......
හිරිපොද එක්ක
සීතල...
තනිකම සදන හැටි
උණුහුම

(ඒ උනත්.....)
නුවර මහ වීදිවල පොද වැස්ස
තෙමනවා තාම හිත් අග්ගිස්ස


12-01-2010 නුවරදී...

Sunday, January 10, 2010

“රාජාලි පියාපත” -දොරට වැඩීම


ඊයෙ ජගත් ජේ. එදිරිසිංහ අයියගේ පොත් දොරට වැඩීම හෙවත් “රාජාලි පියාපත” තිබුණා කොළඹ...ලෝකෙ පුරා විසිරිලා ඉන්න බූන්දි සහෘදයින් බොහොම දෙනෙක් එකතු වුණ හැන්දෑවක් ඒ .. ඇහැට දැකලා නැති වුණත් සිතින් සිතුවිලි ස්පර්ශ කරලා තිබුණු නිසාම හරියට පවුලෙ අය කාලෙකින් එකතු වුණා වගෙයි දැණුනෙ.


ජගත් අයියගේ සංවේදි කතා බහ සහ ඉදිරිපත් කිරීම් ඇහැට කඳුලක් ගෙනාවා...හෂිත අයියගෙත් සංඛ ගෙත් ඉදිරිපත් කිරීම් අනර්ඝයි. සර්පයා ගෙ සාරවත්, දිග, ඒත් කම්මැලි නැති කතාව මට මතක් කළේ හැමදාම බූන්දි ඔන් ලයින් හරහා සිද්ධ වෙන අපූරු සංවාද.....ඒත් කාලය කළමණාකරනය වුණා නම් තවත් effective සංවාදයකට යන්න තිබුණ බව කාටත් හිතුණා.....

ජගත් අයියා “ ඉස්කෝලෙ කාලෙ කතා” ගැන කිව්වෙ “ඇහැට කඳුලක් නොනැගී ඒ පොත තමන්ගෙ වුණත් තමන්ට කියවන්න බෑ කියලා...ගෙදර ඇවිත් පොත කියවද්දි මටත් ඒ දේම වුණාම මම ඒකෙන් තේරුම් ගත්තෙ ඒ කතාව මට කොයි තරම් ළඟද කියන එක වගේම ඊටත් වඩා ඔහු ඒ කතාව මොන තරම් සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවද කියන එකයි...

පැමිණ සිටි සහෘදයින්ගෙ ආදරය වගේම දුර ඉඳන් ළඟ හිටපු මහේෂ්, තුෂාරි, මංජුල අයියා ඇතුළු කට්ටියගෙ සුවඳත් හොඳින් දැණුනා..

රස කතා නම් ගොඩයි...ගම්මාළු ගස ළඟ ප්‍රේමය,කැළුම්ගෙ දේශපාලනික ඊ මේල්, චූල ගණිත කතා, වීරයාගෙ ‍දිග කොණ්ඩෙ, කූඹියා ඇත්තටම කූඹියෙක්ද යනාදී එකී මෙකී නොකී කතා බස් නිසා රෑ වෙලා, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දොර වහන්න බලන් හිටපු මනුස්සයා අපිව එළියට තල්ලු නොකළා විතරයි...(ඇත්තම කියනවානම් තල්ලු කළා)

දවස නිමා වුණේ නැවත මෙවැනි සැඳෑවන් යළි යළිත් උදා වේවා කියන ආදරණීයවූ ප්‍රාර්ථනාවෙන්....


-මාලතී-
10-01-2010

SMS සංවාද

SMS සංවාද- 2010 ජනවාරි පළමු වැනිදා

(මිතුරෙකු හා මිතුරියක අතර)


A: දෙසැම්බර් අතු අගින් ජනවාරි මල් පිපෙයි
    අළුත් මල් උනත් ඉන් එදා සුවඳම නැගෙයි
B: මලක් නම් පරව යයි අතු අගින් බිම         වැටෙයි
    හිතක් නම් පර නොවෙයි හෙටත් හිත ළඟ පිපෙයි
A: මල් පිපී පරව යන ලොවක අරුම                 දනිමි
    නොමැකෙනා නොපෙනෙනා සුවඳ පමණක් රකිමි
B: සුවඳ මහරුව දකිමි නොමැකෙනුව මල සිඹිමි
    අද පිපී ගිලිහුනද හෙටත් පිබිදෙයි          දනිමි

ඔහු කියූ කවිය සහ ඇය නොකියූ කවිය


ඔහු කියූ කවිය සහ ඇය නොකියූ කවිය


ඇයඃ මම ඔයාට ආදරෙයි.

ඔහු කියූ කවියඃ

කේන්ද්‍රයන්ගෙන් නිෂ්පාදිත
සමාජ ප්‍රපංචයන්ගෙන්
වියෝජනය කොට
මගේ සත්තාව
මවිසින්ම පවරා දුනිමි
නිරපේක්ෂ චලනයෙන්
ශ්‍රමය,සාරය වගුරන
දුක් විඳින මිනිසුන්ට

වල් නෙළන
පැල් රකින
වැසි බලා
බිම සිඹින
දැල් අදින
ගල් කඩන
ගිනි තාර
හා දැවෙන
හිරු සමග
අවදි වන
රළු අතින
කිරි දොවන
ඒ මහා
මිනිස් කැළ
උන් වෙතට
මා අදින
කෙසේ නම්
නවතිම්ද
මල් සිඹින
කව් ලියන
සුන්දරම
ඉම් සොයන
සිතක් ළඟ
මට මාද
හිමි නැතිව



තිබේ යන්නට ගමනක්
ඇත උතුම් සිතැඟියාවන්ගෙන්
ප්‍රේරණය කරන ලද
සුසාධිත අරමුණක්
හරි පිට ගසන්නට,
පරිමිතවූ විඥානයෙන්
කණ පිට ගැසූ ලෝකය.

ඇයඃ මං දන්නෑ.....මම ඔයාට ආදරෙයි.
.............................................



ඇය නොකියූ කවියඃ

ඒ සිඹින මල් යාය
නගුල් කැති දැල් රැගෙන
ජීවිතේ පොර බදන
කලල් දිය මත පිපෙන
ඉරි තැළුණු රළු අත්ය

සොයන ඒ සොඳුරු ඉම්
දෙණි බිමට වැසි ගෙනෙන
තුරු ලියට පල බෙදන
මග කියා තරු එවන
විශ්වයෙහි උල්පත්ය

ඒ කටුක අත් වලට
ඒ සොඳුරු උල්පතට
පෙම් කරන මා නොදැක
පෙම් කළද ඔබ ලොවට
ගලයි මේ ගඟ හෙටද
ආදරෙයි මම ඔබට



- මාලතී-
12/2009

හදෙහි උන් සකි සඳ




දහසකුත් මහ සෙනඟ අතර මැද
සුවහසක් ඔල්වර හඬ නැගෙන සඳ
මොහොතකට ලොව නැවතුණ තැන
හිටි පියවරම මතකයෙහි නුඹ දිස්විණ

“ගෙවී යන කාලයට
බො‍හෝ දේ කළ හැකිය...
සදා සපත වූවන්
ලිහා වෙන් කළ හැකිය...”

නිදා ගත් හද පත්ලෙන්
මතුව එයි හෙමිහිට
සටහන් පොතේ කෙළවර
කුරුටු ගෑ කසුරිගෙ කවි පද

රඟ මඬල හස කැන් මැද
එක්ව රඟ දුන් සකි සඳ
සිමෙන්ති වේදිකාවෙන්
තවමත් නැගෙනවද අපෙ කට හඬ

නිම් නැති අහස වට
තාමත් නැගෙන මේ ඉර හඳ යට
අපි වගේ දඟකළ
කව්රුවත් හිටියාද වෙන තව

පාසලේ අවන්හල ‍කෙළවර
බෙදා ගත් උණුම උණු ප්ලේන්ටිය
රස සිහිව උගුරෙහි ම සිර වෙයි
නැගෙනු නොමදුන් ඉකි හඬ

මහ කැළෑ වගුරු බිම් පිරිසිඳ
ගිරි හෙල් ද පසුකරන් එන මග
වෙහෙසට ගිලිහුණා මිස
අත් හැරියා නොවෙයි නුඹේ අත

නිහඬව වැතිර මේ තණ බිම
කොපුලෙහි මිදුණු පිණි බිඳු ගෙන
පන්තියේ එදා නො කියා
මග වැටුණු කවිය ලියමි මම

රැගෙන හෙමිහිට ඉවතට
කටු ඇනී ලේ ගලන හදවත
තබන්නෙමි නුඹේ දෑත් මත
ඇහෙනවද එදා වාගෙම ගැහෙන හඬ

10/2009