Wednesday, April 26, 2017

මාවතක් තැනිය යුතු...



ගිරි හෙල් තැනිතලා දෙපසින් 
බෑවුම් කඳු වළගොඩැලි මග දිගට
හැමදාම යනෙන මග වෙනස් කොට
මාවතක් තැනිය යුතු 

තැනිතලා බිම් මත
මෙලෝ මල් විසි කොට
දුර්ග ගිරි හිස් මතින් 
ඉන්ද්‍රචාපය මතු කොට
ගැඹුරු හෙල් පතුලත
චන්ද්‍ර පාෂාණ සවි කොට
මග දෙපස තැනිය යුතු
වග වළස් නිය මතින්
රෝස මල් මතුව ආ යුතු 

වළ ගොඩැලි වැසෙන්නට 
මන්දහාසය අතුරා
කඳු නැගෙන තැන්වල
සඳ තබා, කලාවෙන් කලාවට පුරවා
අඳුරු රෑ අහසට
මාලිමාමය තාරකා අලවා
මාවතක් තැනිය යුතු 
රළු බොරළු බිම මතින් 
ප්‍රේමයේ පලස එලිය යුතු

පරිස්සම් වූ දෙපා සලකුණු
වැසී රඟ දෙන සිරි මැවිය යුතු
උරිස්සක වැකි කඳුළු වියැකී
හැරී මදහස් බැලුම් පෑ යුතු
කිණිස්සක රැඳි මියෙන හදවත්
පියාපත් ලැබ ඉගිළ යා යුතු
දහස් ඇස් මැද හුදෙකලා සිත්
තබා මෘදු අඩි ඇවිද යා යුතු

මාවතක් තැනිය යුතු
ඒ මගෙහි, 
දිණුම් කණු ඉම් ලකුණු මැකී යා යුතු
නිදහස් ම පදලස් කෙටී යා යුතු



Saturday, April 8, 2017

කුරා කුහුඹුවන් අපි...,




ඔව්, සබඳ...
කුරා කුහුඹුවන් අපි
නිරා දුක් විඳ
වරා එක කඳුළක් 
නිරානන්දය සොයා යන

දරාගත් වෙහෙස මිස
උරා පැණි බොන්නට 
මල් නො දුටු
පරාජිත කුහුඹුවන් අපි
නිරානන්දය සොයා යන

බෙදාගත් සිනා ඇති
බදාගෙන විඳගත් කඳුළු ඇති
සදාකාලික නැති 
තාරකා අහසක් යට
සදා පවතින මතකයන් වෙති

තරු වුනත් 
නිවෙන්නට දත් අය
කුරුව අබලිව බිම හෙන
කුහුඹුවන් අත්හැර
සක්වලෙහි දිලන්නට හැකි අය

ඔව්, සබඳ..
ඔබේ පැහැදුල් අහස යට
කුරා කුහුඹුවන් අපි
කිරා මැන බලන්නට
තරාදිය අත නො දැරුව
මිය ගියත්
පණ ඇතැයි 
සිත සිතා
තාරකා දූවිලිවලට පෙම් කළ


07-04-2017